අටවන වරටත් සංවිධානය කෙරෙන කොළඹ ජාත්‍යන්තර සමුද්‍රීය හා ලොජිස්ටික්ස් සමුළුව (CIMC 2026) “Building a World Around Us” යන තේමාව යටතේ සැප්තැම්බර් 9 සිට 11 දක්වා කොළඹ රැඩිසන් බ්ලූ හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
CIMC Events සහ ශිපර්ස් ඇකඩමි කොළඹ/ජාත්‍යන්තර ආයතන විසින් සංවිධානය කරනු ලබන මෙම සමුළුව, ගෝලීය නාවික කටයුතු, සැපයුම් දාම කළමනාකරණය සහ කලාපීය වෙළෙඳාමේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්, කර්මාන්ත නායකයින් සහ ජාත්‍යන්තර විශේෂඥයින් එක්රැස් කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු වාණිජ මණ්ඩලය (AMCHAM), යුරෝපීය වාණිජ මණ්ඩලය සහ ජර්මානු වාණිජ මණ්ඩලය (AHK) ඇතුළු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික මණ්ඩලවල සහය මෙම සමුළුවට හිමිවී තිබේ.
අමෙරිකාව, ඉන්දියාව සහ තවත් රටවල් ගණනාවක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙහි සමාරම්භක සැසි සඳහා සහභාගී වීමට නියමිතය. සමුළුව අතරතුර 2035 වසර දක්වා වෙළෙඳ පුරෝකථනයන් සහිත දකුණු ආසියානු කන්ටේනර් වාර්තාව ද එළිදැක්වීමට නියමිතව ඇත.
කලාපීය ආර්ථික ප්‍රවණතා, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍ර, ඉන්දියාවේ දිගුකාලීන ආර්ථික වර්ධන උපාය මාර්ග, සෘජු විදේශ ආයෝජන අවස්ථා, වරාය සංවර්ධනය, හරිත ඉන්ධන සැපයුම් යටිතල පහසුකම්, ඩිජිටල් සැපයුම් දාම, කෘතිම බුද්ධිය, නාවික සයිබර් ආරක්ෂාව සහ බහු-මාධ්‍ය සම්බන්ධතාව වැනි තීරණාත්මක කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරේ.
ශ්‍රී ලංකාවේ නාවික නීති රාමුව ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ ඉහළ මට්ටමේ ප්‍රතිපත්තිමය සාකච්ඡාවකින් සමුළුව අවසන් වීමට නියමිත අතර, දේශීය ආර්ථිකයට එම අංශයෙන් ලැබෙන දායකත්වය ඉහළ නංවන ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ.
















