කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් රථ වාහන රාජකාරියේ යෙදී සිටියදී කොළඹ 07, විද්‍යා මාවත ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයක් පසුපස හඹා ගොස් නවතා පරීක්ෂා කිරීමට යාමේදී, පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බව කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර්වරයකු (Wing Commander) ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒකල ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන 47 හැවිරිදි උසස් නිලධාරියෙකු සහ ඔහු සමඟ සිටි අංගොඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අනෙක් සැකකරුය. සැකකරුවන්ගේ දරුණු පහර කෑමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි. රජයේ නිලධාරියෙකුගේ නිල රාජකාරියට දැඩි ලෙස බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම සහ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට පහර දී තුවාල සිදු කිරීම යන බරපතළ චෝදනා යටතේ ගුවන් හමුදා නිලධාරියා ඇතුළු සැකකරුවන් දෙදෙනාට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය මඟින් ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කර ඇත.
















