Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන “Clean Colombo” වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වී තිබේ.
මෙම වැඩසටහන යටතේ මලාපවහන ජාලය සහ ජලාපවහන ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය හා වැඩිදියුණු කිරීම, පරිසර අලංකරණය සහ කැළිකසළ කළමනාකරණය විධිමත් කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ.
අදාළ ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ ක්‍රියාකාරී සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, ඒවායේ ප්‍රගතිය ද සමාලෝචනය කර තිබේ.
කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම වැඩසටහනට සම්බන්ධ ප්‍රධාන ආයතන වේ.
එමෙන්ම, Clean Sri Lanka වැඩසටහන යටතේ දිවයින පුරා ක්‍රියාත්මක වන සමාජීය යහපැවැත්ම, පාරිසරික තිරසාරභාවය සහ ආචාරධාර්මික පුනරුදය අරමුණු කරගත් වැඩසටහන්වලට අදාළ කොළඹ කේන්ද්‍ර කරගත් ක්‍රියාකාරකම් “Clean Colombo” වැඩසටහන සමඟ ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර ඇත.
මෙම සාකච්ඡාවට ජනාධිපති අතිරේක ලේකම් (Clean Sri Lanka) එස්. පී. සී. සුගීෂ්වර මහතා, කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවල නියෝජිතයන් සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වී තිබේ.














