2025 වසරේදී ලෝකයේ විදුලි ඉල්ලුම ඉහළ ගිය වේගයට වඩා වැඩි වේගයකින් පිරිසිදු බලශක්ති උත්පාදනය වර්ධනය වී ඇති බවත්, ඒ හේතුවෙන් ඉතිහාසයේ පළමු වතාවට ෆොසිල ඉන්ධන මඟින් නිපදවන බලශක්ති ප්‍රමාණය පහත වැටී ඇති බවත් නවතම වාර්තාවක් පෙන්වා දෙයි. බලශක්ති පිළිබඳ පර්යේෂණ ආයතනයක් වන ‘Ember’ මඟින් අප්‍රේල් 21 වැනි අඟහරුවාදා ප්‍රකාශයට පත් කළ වාර්තාවක මෙම තොරතුරු ඇතුළත් වේ.
පසුගිය වසරේ ලෝක විදුලි ඉල්ලුම ටෙරාවොට් පැය 849කින් ඉහළ ගියද, පිරිසිදු බලශක්ති උත්පාදනය ටෙරාවොට් පැය 887කින් වර්ධනය වී තිබේ. මෙහිදී සූර්ය බලශක්ති උත්පාදනය වාර්තාගත ලෙස ඉහළ යාම තීරණාත්මක සාධකයක් වූ අතර, විශේෂයෙන් චීනය සහ ඉන්දියාව එහිදී ප්‍රමුඛ දායකත්වයක් ලබා දී ඇත. මීට අමතරව සුළං, ජල විදුලිය සහ අනෙකුත් පිරිසිදු බලශක්ති ප්‍රභවයන්ගේ දායකත්වය ද සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.
ලෝකයේ සමස්ත විදුලි මිශ්‍රණයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් (33.8%) සපුරාලීමට පුනර්ජනනීය බලශක්තිය සමත්ව ඇත්තේ නූතන ඉතිහාසයේ පළමු වතාවටය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සූර්ය සහ සුළං බලශක්තිය විවේචනය කළද, බොහෝ රටවල් සිය ජාතික ආරක්ෂාව සහ බලශක්ති ස්වෛරීභාවය තහවුරු කර ගැනීම සඳහා දිගින් දිගටම පිරිසිදු බලශක්තිය වෙත යොමු වෙමින් සිටින බව මෙම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
ලොව පුරා රටවල් 215ක දත්ත විශ්ලේෂණය කරමින් සකස් කළ මෙම වාර්තාව මඟින් තහවුරු වන්නේ ෆොසිල ඉන්ධන යුගය අවසාන වීමේ මූලික ලකුණු මේ වන විටත් පහළ වී ඇති බවයි.














