ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තොග වෙළෙඳ මධ්‍යස්ථානය වන පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ පරිශ්‍රය පිරිසිදු කිරීමේ “Clean Manning” වැඩසටහන අද (14) පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දෛනිකව විශාල පිරිසක් ගැවසෙන මැනිං වෙළෙඳපොළ පරිශ්‍රය තුළ වෙළෙඳ කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය පිරිසිදු සහ සුවපහසු පරිසරයක් නොමැති වීම මෙම වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රධාන හේතුව වී තිබේ. වෙළෙඳුන්ගේ සහ පාරිභෝගිකයින්ගේ සනීපාරක්ෂාව සහ පහසුව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.
මෙම වැඩසටහන පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ පොදු වෙළෙඳුන්ගේ සංගමය, පෑලියගොඩ නගර සභාව, පෑලියගොඩ පොලිස් ස්ථානය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ඒකාබද්ධව සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා, මැනිං වෙළෙඳපොළ පොදු වෙළෙඳුන්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්, රජයේ නිලධාරීන්, ආරක්ෂක අංශ සාමාජිකයින් සහ විශාල වෙළෙඳුන් පිරිසක් සහභාගී වූහ.
















