කුලියාපිටිය ප්‍රදේශයේදී සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකදී යතුරුපැදි චැසි සහ එන්ජින් 42කින් සමන්විත විශාල තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය. කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජනක කරුණාසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැටලීම සිදු කෙරිණි.
එම මෙහෙයුමේදී කන්ටේනරය තුළ තිබී අධික වටිනාකමකින් යුත් ජපානයේ නිෂ්පාදිත මත්පැන් බෝතල් 190ක් ද සොයා ගැනීමට පොලිසියට හැකි විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත.
මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, ජපානයේ සිට යතුරුපැදි අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් මෙම භාණ්ඩ නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා ඇති බවයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ගේ සහාය ඇතිව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම වැටලීම සාර්ථක කර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කුලියාපිටිය පොලිසිය විසින් පවත්වනු ලබයි.
















