‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව පාලනය කරන ප්‍රධාන වැව්වල සීමා නිශ්චිතව සලකුණු කර ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
වත්මන් ඉඩම් පරිහරණ රටාවන් හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ජල මූලාශ්‍ර සංරක්ෂණය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත. මුලින් 2025 ජූනි 16 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබූ මෙම ව්‍යාපෘතිය යටතේ, තෝරාගත් වැව් 21කින් නුවර වැව, කන්තලේ වැව සහ තිස්ස වැව යන වැව් 03හි සීමා සලකුණු කර මායිම් කණු යෙදීමේ කටයුතු 2025 වසරේදීම සාර්ථකව අවසන් කෙරිණි.
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වූ සමස්ත වැව් 48න් ඉතිරි වැව්වල මැනුම් කටයුතු සිදු කිරීම, මායිම් ගල් සකසා සවි කිරීම සහ වැව් තාවුල්ල ආශ්‍රිතව රුක් රෝපණය කිරීම ආදී ඉදිරි වැඩකටයුතු 2025-2028 මුළු කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ සඳහා සමස්ත ව්‍යාපෘති පිරිවැය රුපියල් මිලියන 400ක් ලෙස ගණනය කර ඇති අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා මෙම සංරක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය මෙලෙස අනුමැතිය ලබා දී ඇත.














