දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන අලි ඇතුන් සහ දිවියන් මුහුණ දෙන දැඩි අහිතකර බලපෑම් අවම කරමින් ඔවුන් ආරක්ෂා කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය විසින් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. මෙම විශේෂ රැස්වීම සංසදයේ සම සභාපතිවරුන් වන ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවැත්විණි. ගෝලීය දේශගුණික විපර්යාසයන් දේශීය වනජීවී ගහනයට සහ පරිසර පද්ධතීන්ට සෘජුවම බලපාන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විශ්ලේෂණය කෙරිණි.
මෙහිදී විශේෂයෙන්ම එල් – නිනෝ (El Niño) සහ ලා – නිනා (La Niña) දේශගුණික තත්ත්වයන් මඟින් මෙරට අලි ඇතුන් සහ දිවියන්ගේ සාමාන්‍ය ජීවන රටාවන්ට, සංක්‍රමණ රටාවන්ට සහ ආහාර මෙන්ම ජල අවශ්‍යතාවලට ඇති කරන බලපෑම් පිළිබඳව දැඩි අවධානයක් යොමු වූ අතර, ඒ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් විසින් සභාවට කරුණු පැහැදිලි කරන ලදී. දේශගුණික විපර්යාස හේතුවෙන් වනජීවීන්ට සිදුවන සමස්ත බලපෑම් පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරන බව පැවසූ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එහි පළමු පියවර ලෙස වඩාත් අවදානමට ලක්ව ඇති අලි ඇතුන් සහ දිවියන් මුහුණ දෙන ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව ප්‍රකාශ කළේය. එමෙන්ම, මෙම පාරිසරික අර්බුදය සම්බන්ධයෙන් ඉදිරියේදී විද්‍යාත්මක හා පුළුල් අධ්‍යයනයක් සිදු කර, ඊට අදාළ වනජීවී හා පාරිසරික පාර්ශ්වයන් වෙත නිශ්චිත නිර්දේශ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව සඳහා දේශගුණික විශේෂඥයින් සහ ප්‍රමුඛ පෙළේ පරිසරවේදීන් රැසක් ද සහභාගී වී සිය වෘත්තීය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ අතර, මෙරට පවතින උග්‍ර මිනිස් – අලි ගැටුම් අවම කිරීම ඇතුළු වනජීවී ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ වැදගත් කරුණු රැසක් ද මෙහිදී සාකච්ඡාවට භාජනය විය. මෙම අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, චම්පික හෙට්ටිආරච්චි, රියාස් ෆාරුක් සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද එක්ව සිටියහ.















