ගල් අඟුරු මඟින් විදුලි නිෂ්පාදනය අඩු කළ ද ප්‍රමාණවත් පරිදි ජල විදුලි උත්පාදනය සිදුකරන බැවින් විදුලි සැපයුමට කිසිදු බාධාවක් එල්ල වී නොමැති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. ගල් අඟුරු සංචිත අවමවීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කර ඇත.
ගල් අඟුරු නෞකා දෙකක් ඉදිරියේ දී දිවයිනට ළඟාවීමට නියමිත අතර, ඉන් පළමු නෞකාව හෙට (04) දින සහ දෙවන නෞකාව ලබන 12 වන දින පැමිණීමට නියමිතය. අදාළ නෞකාවල ගල් අඟුරු ගොඩබෑමෙන් පසු නිසි පරිදි විදුලි නිෂ්පාදන කටයුතු යථා තත්ත්වයට පත් කරන බවත්, පවතින තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත්, ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මේ වන විට විදුලි උත්පාදන කටයුතු බරපතළ ගැටලුවකට ලක්ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසා තිබේ.
















