පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතුවල සිදුව ඇති අවුල් සහගත තත්ත්වය සහ මූල්‍ය විනය බරපතල ලෙස පිරිහීම සම්බන්ධයෙන් රටේ ඉහළම තැනක බලධාරියෙකු සිය අප්‍රසාදය පළකර තිබෙන බව වාර්තා වේ.
විශේෂයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සමාලෝචන රැස්වීම් වාර දෙකකදී හෙළිදරව් වූ කරුණු අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනය බරපතල ලෙස අවුල් සහගත හා අක්‍රමවත් තත්ත්වයක පැවතීමත්, මහජන මුදල් වැය කිරීමට අදාළ මූල්‍ය විනය බරපතල ලෙස පිරිහී තිබීමත් හේතුවෙන් මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමුකර තත්ත්වය කළමනාකරණයට කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙන බවද දැනගන්නට ඇත.
දිවයිනේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙම තත්ත්වයට පත්ව ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ වන අතර, ඒ සඳහා වර්තමාන උපකුලපති ටෙරන්ස් මධුජිත් මහතාගේ පාලන දුර්වලතා හේතුවී තිබෙන බවද මෙහිදී සාකච්ඡාවට බඳුන්ව තිබේ. විශේෂයෙන් කෝප් කමිටුව තුළ අදාළ ගැටලු පැනනැගුණ අවස්ථාවලදී උපකුලපති මධුජිත් මහතා ඊට පිළිතුරු සැපයූ ළාමක සහ හිතුවක්කාර ස්වභාවයත්, මහජන මුදල් වැය කිරීමේ සීමා හා බලය ලැබීමේ මූලයන් සම්බන්ධයෙන් ඔහුගේ ඇති නොදැනුවත්භාවය පිළිබඳවත් අදාළ අංශවල අප්‍රසාදය පළවී ඇත.
















