මහා භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයකින් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා හෙට (30) කැඳවා තිබූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට පැමිණීමට නොහැකි බව භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා දන්වා ඇත. රජයේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ ඒ බව දන්වමින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් යොමුකළ ලිපිය අද (29) කාරක සභාව වෙත ලැබුණු බවයි.
භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මෙලෙස කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබුණේ රටේ මූල්‍ය පද්ධතියට එල්ල වූ මෙම බරපතළ සයිබර් ප්‍රහාරය සහ ඊට අදාළ වගවීම් පිළිබඳව කරුණු විමසීමටය. ජාතික වැදගත්කමකින් යුත් මෙවැනි මූල්‍ය කොල්ලයක් සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පැමිණීම ඉහළ නිලධාරීන් විසින් මෙලෙස මගහැරීම පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.














