ඉක්වදෝරයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත සියයට 100ක බදු පැනවීමට ඉකුත් සතියේ වෙළඳ අමාත්‍යාංශය ගෙන තිබූ තීරණය කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ (Gustavo Petro) විසින් අත්හිටුවා තිබේ. ඊයේ (අප්‍රේල් 13) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, සියයට 100ක බදු පැනවීමක් සිදු නොකරන බවත්, කොලොම්බියාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා සියයට 0ක බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්ය.
දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික නොසන්සුන්තාවය හමුවේ ඉක්වදෝරය විසින් ලබන මැයි මාසයේ සිට කොලොම්බියානු භාණ්ඩ සඳහා සියයට 100ක බදු පැනවීමට තීරණය කර තිබුණි. ඊට ප්‍රතිචාර ලෙස කොලොම්බියානු වෙළඳ අමාත්‍යාංශය ද බදු ඉහළ දැමීමට සැලසුම් කර තිබුණ ද, ජනාධිපති පෙට්‍රෝ පවසන්නේ එම ක්‍රමය වෙනුවට දේශීය කෘෂිකර්මාන්තයට සහනාධාර ලබාදීම සහ “බුද්ධිමත් බදු” (Smart tariffs) ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවයි.
ඉක්වදෝරය විසින් පනවා ඇති බදු හේතුවෙන් අපනයනය කිරීමට නොහැකි වන භාණ්ඩ වෙනත් විකල්ප වෙළඳපොළක් ලෙස වෙනිසියුලාව වෙත යොමු කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය. දේශීයව නිපදවිය හැකි ද්‍රව්‍ය සහනාධාර ලබාදී කොලොම්බියාව තුළම නිෂ්පාදනය කර අඩු මිලට ජනතාවට ලබාදීම රජයේ අපේක්ෂාව වී තිබේ.















