හිටපු චෙල්සි සහ එංගලන්ත සුපිරි ආරක්ෂක ක්‍රීඩක ජෝන් ටෙරී (John Terry) ඇතුළත් කණ්ඩායමක් විසින් එංගලන්තයේ ‘ලීග් ටූ’ (League Two) නියෝජනය කරන කොල්චෙස්ටර් යුනයිටඩ් (Colchester United) පාපන්දු සමාජය මිලදී ගැනීම සඳහා සූදානම් වන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් එම ක්‍රීඩා සමාජය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ හිමිකාරීත්වය පැවරීම සම්බන්ධයෙන් මේ වන විට “විස්තරාත්මක සාකච්ඡා” (Detailed Discussions) පවතින බවයි.
බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව ජෝන් ටෙරී ඇතුළත් මෙම ආයෝජක කණ්ඩායම විසින් පවුම් මිලියන 14ක (රුපියල් බිලියන 5කට අධික) මුදලකට මෙම මිලදී ගැනීම සිදු කිරීමට යෝජනා කර ඇත. කෙසේ වෙතත්, කොල්චෙස්ටර් යුනයිටඩ් හි වත්මන් හිමිකරු සහ සභාපති රොබී කවුලින් (Robbie Cowling) පවසා ඇත්තේ සාකච්ඡා අවසන් මට්ටමට පැමිණෙන තෙක් සම්බන්ධ වී සිටින පුද්ගලයින් හෝ ආයතන පිළිබඳව නිල වශයෙන් අදහස් දැක්විය නොහැකි බවයි.
පසුගිය වසරේ මුල් භාගයේ සිටම කොල්චෙස්ටර් කණ්ඩායම විකිණීමට තබා තිබූ අතර මීට පෙර අමෙරිකානු සමාගමක් සහ හිටපු බ්‍රසීල ක්‍රීඩක ඇලෙක්සැන්ඩර් පැටෝ (Alexandre Pato) සම්බන්ධ වූ ආයෝජක කණ්ඩායමක් සමඟ පැවැති සාකච්ඡා ද අසාර්ථක විය. නමුත් ජෝන් ටෙරී වැනි ප්‍රබල පාපන්දු පෞරුෂයක් මෙම ගනුදෙනුවට සම්බන්ධ වී සිටීම හේතුවෙන් මෙවර සාකච්ඡා පිළිබඳව කොල්චෙස්ටර් ලෝලීන් තුළ විශාල බලාපොරොත්තුවක් ඇති වී තිබේ.















