ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් වාහන අවභාවිත කළ බව කියන සිද්ධියට අදාළ නඩුව ඊයේ (27) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවනු ලැබීය. එහිදී අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළේය.
මෙම නඩුව 2015 වසරේදී ලැබුණු පැමිණිල්ලක් මත පවරා ඇති අතර, ඊයේ දින නඩුව කැඳවූ අවස්ථාවේ සැකකාර ජයන්ත සමරවීර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහු රෝගාතුරව සිටින බව දන්වා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේය. කෙසේ වෙතත්, එම වෛද්‍ය වාර්තාව පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුට එරෙහිව වරෙන්තුව නිකුත් කිරීමට පියවර ගත්තේය. මෙම නඩුව නැවතත් ඔක්තෝබර් මස 14 වැනි දින නීතිපති උපදෙස් සඳහා කැඳවීමට නියමිතය.
මේ අතර, සිද්ධියට අදාළව ඇප මත මුදාහැර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ඇතුළු අනෙකුත් සැකකරුවන් පස් දෙනා ඊයේ විවෘත අධිකරණයේ පෙනී සිටියහ. මෙම පිරිසට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව නීතිපති උපදෙස් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව අධිකරණයට දන්වා සිටියේය.
















