දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (15) නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.
2014 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කරමින් සිටියදී, එම සමාගමේ ගබඩා සංකීර්ණයේ කාපට් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට පැවරීමේදී අදාළ සමාගමට වාසිදායක ලෙස කටයුතු කිරීමෙන් දූෂණය සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.
















