එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායකට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (15) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සිදුකළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇත. සිද්ධියට අදාළ දෙවන සැකකාරිය වන ප්‍රියංකා නයෝමාලිට මීට පෙර නිකුත් කර තිබූ දින වරෙන්තුව වෙනුවට ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අධිකරණය විසින් පිළිගනු ලැබීය.
මෙම සැකකාරිය වෙනුවෙන් ඇපකරුවන් ලෙස කටයුතු කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක එම ඇපකාරිත්වයෙන් ඉවත් කරන ලෙස ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ සමඟම රුපියල් මිලියන 10ක ඇප මුදල රාජසන්තක කළ හැකි බවද නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
















