බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් ඊයේ (23) ස්ථිර කර තිබේ. තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා උන්වහන්සේ ඉදිරිපත් කර තිබූ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කරමින් ජාතික හා ආගමික සමගියට බාධා කිරීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් පොලිසිය විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් උන්වහන්සේ එම චෝදනාවට වැරදිකරු කරමින් සිරදඬුවම් නියම කර තිබූ අතර, මහාධිකරණය ද එම තීන්දුව නිවැරදි බව පිළිගනිමින් අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට පියවර ගත්තේය.
















