ශ්‍රී ලංකා ජාතික ජිම්නාස්ටික් සංගමයේ නිලවරණය ඉකුත් 26 වන දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, එහිදී 2026-2028 ධුර කාලය සඳහා සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් කර ඇත.
නව නිලධාරී මණ්ඩලයට ඇතුළත් වන පිරිස ලෙස, සභාපතිවරයා ලෙස කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ එච්. ඩී. කමල් සංජීව පෙරේරා මහතාද, ලේකම්වරයා ලෙස දකුණු පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා නිලධාරී කේ. එච්. තුෂාර ප්‍රියන්ජිත් මහතාද පත් කර තිබේ. තවද, උප සභාපතිවරුන් ලෙස විශ්‍රාමික ගුවන් හමුදා ගෲප් කපිතාන් පී. කේ. නාමල් සුජීව පිටිගල සහ කඩවත මහාමාය බාලිකා විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන ගුරු ඒ. එච්. ඉරෝෂා ලක්මිණි යන මහත්ම මහත්මීහු පත්ව ඇත. රත්නපුර කුමර විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන ගුරු නිමේෂ සදීප් වීරසිංහ මහතා උප ලේකම් ලෙසත්, තැපැල් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර ඩබ්ලිව්. ඒ. සත්මි අෂ්මිකා ඩයස් මෙනවිය භාණ්ඩාගාරික ලෙසත් තෝරාගෙන තිබේ.
ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ජාතික හා ජාත්‍යන්තර සංවර්ධනය, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය, පුහුණුකරුවන් හා විනිසුරුවන්ගේ වෘත්තීය සංවර්ධනය මෙන්ම ශ්‍රී ලංකාවේ ජිම්නාස්ටික් ක්ෂේත්‍රය නව මට්ටමකට ගෙන යෑම මෙම නව පරිපාලනයේ ප්‍රධාන අරමුණු වේ.














