කොළඹ පිහිටි ඇමැති බංගලා විවිධ ව්‍යාපෘති සඳහා විධිමත් ලෙස වෙන් කිරීම වෙනුවෙන් විශේෂ පාලන කමිටුවක් (Steering Committee) පත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ සඳහා වන කැබිනට් මණ්ඩල අනුමැතිය ද දැනටමත් ඉල්ලා ඇති බවයි. කොළඹ සුවිශේෂී පහසුකම්වලින් යුත් මෙවැනි දැවැන්ත ඇමැති බංගලා 25ක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන තවමත් වසා දමා තිබීම හේතුවෙන් ඒවා ජරාවාස වෙමින් පවතින අතර, තවදුරටත් මේවා මෙලෙස වසා තැබුවහොත් විශාල වශයෙන් පරිහානියට පත්වීමේ අවදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, මෙම වටිනා ඇමැති බංගලා ආයෝජන ව්‍යාපෘති, තානාපති කාර්යාල නිවාස සහ අනෙකුත් රාජ්‍ය කාර්යාල සඳහා වෙන් කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව, ඇමැති බංගලා 16ක් ආර්ථිකමය වශයෙන් රටට ඵලදායී මෙන්ම නව රැකියා උත්පාදනය වන විවිධ ආයෝජන ව්‍යාපෘති සඳහා ද, ඉතිරි ඇමැති බංගලා 9 තානාපති කාර්යාල නිල නිවාස සහ වෙනත් රාජ්‍ය කාර්යාල කටයුතු සඳහා ද වෙන් කිරීමට අපේක්ෂා කරන බව එම නිලධාරියා වැඩිදුරටත් තහවුරු කළා.
















