දිට්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීම සඳහා ස්ථාපිත කරන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදල වෙත දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් කෝටි 1,097ක (ඇමරිකානු ඩොලර් මිලියන 11.58ක්) මුදලක් ලැබී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (09) පස්වරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
සියලු මුදල් විධිමත්ව භාණ්ඩාගාරයට
ලංකා බැංකුව, මහජන බැංකුව සහ මහ බැංකුව තුළ ස්ථාපිත කර ඇති මෙම අරමුදලට ලැබුණු සියලු මුදල් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ දේශීය සහ විදේශීය ගිණුම් වෙත බැර කර ඇති අතර රාජ්‍ය මූල්‍ය පනතට අනුව එම මුදල් විධිමත්ව ගිණුම්ගත කර ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
පහළ කඩුගන්නාවේ ව්‍යාපාරික ස්ථාන සහ නිවාස 74කට හානි
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදු වූ හානි පිළිබඳ කෑගල්ල දිසාපතිවරයා ඉදිරිපත් කළ වාර්තාව අනුව නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 74කට හානි සිදු වී තිබේ. ඊට ඉදිකරමින් පවතින ගොඩනැඟිලි 03ක්, පූර්ණ හානියට පත් නිවාස 03ක්, ව්‍යාපාරික ස්ථාන 04ක්, පලතුරු සහ බඩඉරිඟු වෙළඳසල් 39ක් සහ ජංගම වෙළඳසල් 22ක් ඇතුළත් වන අතර මෙයින් බහුතරයක් අනවසර ඉදිකිරීම් වේ.
මාර්ගය පුළුල් කිරීමට සහ වන්දි ගෙවීමට නව සැලසුම්
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නිර්දේශ මත පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය මංතීරු තුනක් යටතේ කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව මාර්ගය පුළුල් කිරීම සඳහා එහි සිටින අනවසර පදිංචිකරුවන් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා අතර, නීත්‍යානුකූල අයිතියක් ඇති පිරිස් වෙත නියමිත මාර්ගෝපදේශ අනුව වන්දි ගෙවීමටත්, නැවත පදිංචි වීමට අකමැති අයට වන්දි ලබා දී ඉඩම් අත්පත් කර ගැනීමටත් රජය තීරණය කර ඇත.
















