කොළඹ වරාය නගරයේ මූලෝපායික වැදගත්කමක් සහිත ව්යාපාර සඳහා ලබාදී ඇති අනුමැතීන්, ඉදිරි ආයෝජන සැලසුම් සහ මහල් නිවාස ව්යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) අවධානය යොමු වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය ඔක්තෝබර් 8 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැති කාරක සභා රැස්වීමේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ආයෝජන ප්රවර්ධන කටයුතු, විදේශීය ආයෝජන නියාමනය සහ අදාළ නීතිමය හා පරිපාලනමය කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇත.
කොමිෂන් සභා නිලධාරීන් පෙන්වා දී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.12ක වටිනාකමකින් යුත් ඉඩම් කොටස් නවයක් මේ වන විට බදු දී ඇති බවයි. තවත් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුත් ඉඩම් කොටස් හයක් බදු දීම සඳහා සැලසුම් සකස් කෙරෙමින් පවතින අතර, රජයට අයත් ඉඩම් කොටස් හතරක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරමින් සිටින බව අනාවරණය වී තිබේ.
මේ දක්වා බදු දී ඇත්තේ CHEC Port City Colombo (Pvt) Ltd සමාගමට අයත් ඉඩම් කොටස් පමණක් බවද නිලධාරීන් සඳහන් කර ඇත. අදාළ ඉඩම් වසර 99ක කාලයක් සඳහා බදු දෙන අතර, වර්ග මීටරයක සාමාන්ය වටිනාකම ඇමෙරිකානු ඩොලර් 3,000ක් බවත්, සමස්ත කල්බදු මුදලින් සියයට එකකට සමාන රුපියල් මිලියන 398ක මුදලක් මේ වන විට කොමිෂන් සභාවට ලැබී ඇති බවත් කාරක සභාව හමුවේ අනාවරණය වී තිබේ.
වරාය නගරයේ ආයෝජනය කරන සමාගම්වල ප්රතිලාභී හිමිකාරීත්වය හඳුනා ගැනීම, විදේශීය ආයෝජනවල විනිවිදභාවය තහවුරු කිරීම සහ මුදල් විශුද්ධිකරණය හා ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ක්රියාත්මක නියාමන ක්රමවේද පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වී ඇත.
එමෙන්ම, කොමිෂන් සභාවේ නිර්දේශ මත විදේශිකයන් සඳහා වීසා 14,300ක් පමණ නිකුත් කර ඇති බවට ඉදිරිපත් වූ තොරතුරු සැලකිල්ලට ගනිමින්, එම පුද්ගලයන්ගේ කටයුතු ඵලදායී ලෙස අධීක්ෂණය කිරීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා කර තිබේ. වරාය නගරය තුළ නීතිවිරෝධී ක්රියාකාරකම් වැළැක්වීම සහ ශ්රී ලංකාවේ ජාත්යන්තර ප්රතිරූපය ආරක්ෂා කිරීම සඳහා නියාමන ක්රියාවලිය ශක්තිමත් කිරීමේ අවශ්යතාවද අවධාරණය කර ඇත.
මහල් නිවාස හා නේවාසික ව්යාපෘති සඳහා නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන ආයෝජකයන්ගෙන් ලබාගන්නා පූර්ව ගෙවීම්වල (Pre-Sale Deposits) සුරක්ෂිතභාවය පිළිබඳවද කාරක සභාව කරුණු විමසා තිබේ. විශේෂයෙන්ම, එම මුදල් අදාළ ව්යාපෘති සඳහාම යෙදවීම සහ ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එස්ක්රෝ (Escrow) ගිණුම් ක්රමවේදය ක්රියාත්මක වන ආකාරය පිළිබඳව අවධානය යොමු වී ඇත.
වරාය නගරයට සැබෑ ලෙස ලැබී ඇති විදේශීය ආයෝජන ප්රමාණය, අනුමත ව්යාපාරවල වත්මන් ක්රියාකාරීත්වය සහ ඒ හරහා අපේක්ෂිත රැකියා අවස්ථා නිර්මාණය වී තිබේද යන්න පිළිබඳවද කාරක සභාව කරුණු විමසා බලා තිබේ.
මෙම රැස්වීමට නියෝජ්ය අමාත්යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් සහභාගි වී ඇත.













