කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් මාලදිවයිනේ මාලේ නුවරදී ‘කොළඹ වරාය නගර ආයෝජක සංසදය’ (Port City Colombo Investor Forum) සාර්ථකව පවත්වා තිබේ. මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ CHEC කොළඹ වරාය නගරය (පෞද්ගලික) සමාගම එක්ව මෙම සංසදය සංවිධානය කර තිබිණි.
මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික නායකයන්, ආයෝජකයන් සහ දේශපාලන නායකයන් රැසක් සහභාගී වූ මෙම හමුවේදී කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපය (SEZ) තුළ පවතින ඉඩම්, නිශ්චල දේපළ සහ ව්‍යාපාරික වාසි පිළිබඳව සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කර ඇත. ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහොමඩ් රිස්වි හසන් මහතා ඇතුළු නියෝජිතයන් පෙන්වා දුන්නේ මෙය දෙරට අතර පවතින සබඳතාව නව ආර්ථික හවුල්කාරිත්වයකට යොමු කරන කාලෝචිත පියවරක් බවයි. එමෙන්ම, මෙම සංසදයෙන් අනතුරුව Sun Siyam Resorts, Villa Group, Damas, Leo Trading සහ ADK Hospital ඇතුළු මාලදිවයිනේ ප්රමුඛ පෙළේ සමාගම් කිහිපයක් සමඟද වරාය නගර නියෝජිත පිරිස විශේෂ සාකච්ඡා පවත්වා තිබේ.














