අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 11 වන (2026/2027) අදියර සඳහා සිසුන් බඳවා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම ඊයේ (17) සිට 2026.09.27 දින දක්වා සිදු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
2023, 2024, 2025 යන වර්ෂයන් තුළදී අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට, අවම වශයෙන් විෂයයන් තුනටම සාමාන්‍ය සාමාර්ථ (S) තුනක් ද, අ.පො.ස. උසස් පෙළ හෝ අ.පො.ස. සාමාන්‍ය පෙළ යන විභාගවල ඉංග්‍රීසි විෂයට අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් (S) ද, එසේම, සාමාන්‍ය පොදු පරීක්ෂණයට අවම වශයෙන් ලකුණු 30ක් ද වශයෙන් ලබාගත්, අයදුම්පත් කැඳවන අවසාන දිනට එනම්, 2026.09.27 දිනට වයස අවුරුදු 25 කට නොවැඩි, ඉහත මූලික සුදුසුකම් සපුරා ඇති සිසුන් හට මේ සඳහා අයදුම්පත් යොමු කළ හැකියාව ඇත.
මෙමඟින් ඉංජිනේරු තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, විද්‍යාව, වාණිජ සහ මානව හා ශාස්ත්‍රීය යන විෂය ධාරාවන්ට අයත්ව, උපාධි පිරිනමන ආයතන 16ක් හරහා, උපාධි පාඨමාලා 129 කට වැඩි සංඛ්‍යාවක් සිසුන්ට හැදෑරීමට අවස්ථාව උදාකර දී ඇත. වැඩිදුර තොරතුරු අමාත්‍යාංශයේ නිල නාලිකා හරහා ලබා ගත හැකිය.














