පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් බහාලුම් 323ක් පිට කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (අප්‍රේල් 22) උණුසුම් මුහුණුවරක් ගත්තේය. සිද්ධිය වන අවස්ථාවේ අදාළ විෂයභාර අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ ජනාධිපතිවරයා සහ බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසක් කාරක සභාව හමුවට කැඳවීමට විපක්ෂය ගෙන ආ යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජය වීම මෙයට හේතුවයි.
ශ්‍රී ලංකා රේගුව අයත් වන මුදල් අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ද, එවකට වරාය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතා ද, නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සහ අමාත්‍යාංශ ලේකම්වරයා ද කාරක සභාව හමුවට කැඳවා ප්‍රශ්න කළ යුතු බව විපක්ෂ මන්ත්‍රීවරු දැඩි ලෙස ප්‍රකාශ කළහ. ඔවුන් පෙන්වා දුන්නේ මෙම මහා පරිමාණ බහාලුම් පිටකිරීමේ වගකීමෙන් ඉහළ දේශපාලන අධිකාරියට මිදිය නොහැකි බවයි. කෙසේ වෙතත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ අතර, අවසානයේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාව පරාජයට පත් විය.
මෙම තීරණයත් සමඟ කමිටුව අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වන්නේද යන්න පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරුන් සිය සැකය පළ කර සිටිති. මීට පෙර රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් කරුණු විමසා තිබූ අතර, විපක්ෂයේ ඉල්ලීම මත පත් කළ මෙම කමිටුව තුළම මෙවැනි බෙදීමක් ඇතිවීම පරීක්ෂණවල ඉදිරි ගමන පිළිබඳ අවිනිශ්චිතතාවයක් මතු කර ඇත.













