කොළඹ වරායේ බහලුමක තිබී රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් අත්අඩංගුවට ගැනීමේ වැටලීම සම්බන්ධයෙන්, අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ (08) පැයකට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ නියෝගයකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරකට අනුව, අධිකරණ අවසරය මත මෙම කන්ටේනරය පරීක්ෂා කර මත්ද්‍රව්‍ය තොගය සොයාගත් අතර, එය ගොඩබිමෙන් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, අදාළ වැටලීම සිදුවූ ආකාරය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ යම් විරෝධයක්ද මතුවී ඇති බව වාර්තා වේ.














