නවතම අල්ෆාලයිනර් (Alphaliner) සාගර සතිපතා ප්‍රවෘත්ති වාර්තාවට අනුව, පසුගිය වසරේ ලෝකයේ කාර්යබහුල වරාය දර්ශකයේ 26 වන ස්ථානයේ පසුවූ කොළඹ වරාය, මේ වසරේ පළමු භාගය අවසානයේදී 20 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. ගෝලීය සමුದ್ರීය තරඟකාරීත්වය දැඩිව පවතින පසුබිමක මෙලෙස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණීම මෙරට සමුද්‍රීය හා ලොජිස්ටික් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වේ.
මෙම කැපී පෙනෙන ප්‍රගතිය පිටුපස ශක්තිමත් මෙහෙයුම් ධාරිතාවක් ක්‍රියාත්මක වී ඇති අතර, 2026 වසරේ පළමු මාස 6 තුළ පමණක් කොළඹ වරායේ පර්යන්ත 5ක් එක්ව බහාළුම් මිලියන 4.44ක් සාර්ථකව මෙහෙයුම් කර ඇත. එය පෙර වසරට සාපේක්ෂව 11.9%ක ප්‍රතිශතයක දැවැන්ත වර්ධනයක් වන අතර, මෙමඟින් කලාපීය නාවික මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරාය සතු අඛණ්ඩ විශ්වසනීයත්වය සහ කාර්යක්ෂමතාව මනාව තහවුරු වේ.
ඉදිරියේදී මෙම ධාරිතාව තවදුරටත් පුළුල් කරගනිමින් ගෝලීය සැපයුම් ජාලය තුළ ශ්‍රී ලංකාවේ තරඟකාරීත්වය ඉහළ නංවා ගැනීමට මෙම වර්ධනය ප්‍රබල රුකුලක් වනු ඇත. ජාත්‍යන්තර ආයතනවල ඇගැයීමට ලක්වන මෙම ධනාත්මක ප්‍රවණතාව අඛණ්ඩව පවත්වාගෙන යාම හරහා මෙරට ආර්ථිකයට ලැබෙන විදේශ විනිමය දායකත්වය පුළුල් කර ගැනීමටත්, නාවික හා වරාය සංවර්ධන අංශයේ නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් ජාතික මට්ටමින් කඩිනම් පියවර ගැනෙනු ඇත.














