27 April 2024
#Uncategorised

කොළඹ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය ඉදිරියටත්

කොළඹ අගනගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදිරියටත් තිරසර ලෙස පවත්වාගෙන යාම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිවේ.

මෙම ව්‍යාපෘතිය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස්කරන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා නාගරික සහ නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබිණි. ඒ අනුව සුදුසු ක්‍රමවේදයක් සැකසීම සඳහා අමාත්‍යංශ ලේකම්වරයා විසින් විශේෂඥ තාක්ෂණික කමිටුවක් පත්කරනු ලැබීය.

එම විශේෂඥ තාක්ෂණික කමිටුව විසින් කොළඹ අගනගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ තාක්ෂණික විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුව වාර්තාවක් ඉදිරිපත්කර තිබේ. එම වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතියේ ආරම්භක සැලැස්ම අනුව පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 2.125ක පමණ වාර්ෂික පිරිවැයක් දැරීමට සිදුවේ. එමෙන්ම මෙම ව්‍යාපෘතියෙන් දිනකට කසල මෙට්‍රික් ටොන් 300 ක් ආර්ථිකමය වාසි ලබාගත හැකි බවද අදාළ කමිටු වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

සාමාන්‍යයෙන් කොළඹ නගරයේ පමණක් දිනකට කැලිකසල මෙට්‍රික් ටොන් 600ට අධික ප්‍රමාණයක් එකතුවේ. එම කසළ කැලණිය ප්‍රදේශයට එකතුකර එතැන්සිට දුම්රිය මගින් අරුවක්කාලු ප්‍රදේශයට රැගෙනගොස් සනීපාරක්ෂක ක්‍රමයට රඳවනු ලැබේ.

අරුවක්කාලු ප්‍රදේශයේ අක්කර 265ක භූමි ප්‍රදේශයක මෙම සනීපාරක්ෂක කසළ රඳවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර, එමඟින් අක්කර කිහිපයක්ම උද්‍යානයක් ලෙස අලංකාර කිරීම, ආරක්ෂක භූමි සහ පරිසර හිතකාමී තත්ත්වය ඇති කිරීමට වෙන් කර තිබීම ද විශේෂත්වයකි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පුද්ගලික සමාගමක් සමඟ එක්ව රජයේ මුදල් භාවිත නොකර මූල්‍යමය ලෙස ලාභදායි සහ රටට හිතකර සහ තිරසර ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි. ව්‍යාපාර ආකෘතියක් යටතේ මෙම ව්‍යාපෘතිය කරගෙන යෑමෙන් රජයට යම්කිසි ලාභාංශයක් ලබාගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වාදෙයි.

එමෙන්ම අරුවක්කාලු විද්‍යාත්මක සනීපාරක්ෂක කසළ රඳවනයෙහි තැන්පත් කර, එමඟින් බලශක්තිය සඳහා ස්වභාවික වායුව සහ වගා කිරීම සඳහා ජලය ද ලබා ගත හැකි බවද හෙතෙම සඳහන් කරයි.

මෙරට කැළි කසළ අර්බුදයට නිසි විද්‍යාත්මක පරිසර හිතකාමී විසඳුමක් ලබා දී ප්‍රයෝජනවත් අතුරුඵල ලැබෙන පරිදි පරිසර හිතකාමී සනීපාරක්ෂක කසළ රඳවන ලෝකයේ දියුණු රටවල සුලබව දක්නට ලැබෙන බවත්, මෙය මෙරට කැළි කසළ ගැටලුවලට සාර්ථක විසඳුමක් ලැබෙන ව්‍යාපෘතියක් බවත් අමාත්‍යවරයා පවසයි.

මෙරට කැළි කසළ අර්බුදයට විද්‍යාත්මක හා පරිසර හිතකාමී දීර්ඝ කාලීන විසඳුමක අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණු අතර, මෙම ක්‍රියාවලිය සඳහා මුලින්ම අවධානය යොමු කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කරන කාලයේ දීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *