27 April 2024
#දේශීය

18 වැනි වරටත් IMF නොයා සිටීමට නම් යෝජනා ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා කැප විය යුතුයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

18 වැනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා නොගෙන සිටීමට මෙවර ඔවුන් ඉදිරිපත් කර ඇති යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාගේ කැපවීම අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උපකුලපතිවරුන් සහ විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානීන් සමග ඊයේ (02) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

17 වැනි වරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යාමට සිදු වූයේ ඉකුත් 16 වතාවේ දී ම සහය ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම හේතුවෙන් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සියඹලාපිටිය මහතා මෙසේ ද පැවැසීය “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අදාළ ණය මුදල අනුමත වුණාට පසුව අපි කරනු ලබන සුවිශේෂීම සාකච්ඡාව මෙයයි. අපි ආර්ථික ප්‍රශ්නයකනෙ ඉන්නෙ. අද අපි මේ කතා කරන්නේ මේ රටේ ඉන්නෙ ආර්ථික විද්‍යාව සම්බන්ධ ආචාර්ය මහාචාර්යවරුත් එක්ක. ඒ වගේම මේ රටේ හිටපු ජනාධිපතිවරුන් අතරින් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගත්ත ජනාධිපතිවරයා අද ඔබ සමග සාකච්ඡා කරනවා මේ ගත්ත ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනියන්නෙ කොහොම ද කියල. අපට මේ අවස්ථාවේ යන්න තිබුණ එකම තැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියල හැමෝම පිළිගන්නවා. නමුත් ඒ පිළිබඳ සමාජය හිතන විදිහෙ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යා යුතු කිවුව ම කැබිනට් මණ්ඩලයෙන් අමාත්‍යවරුන් නැගිලට යනව කියල තර්ජනය කරපු රටක් මේක. අපට උද්ධමනය පාලන කරන්න බැංකු පොලී ඉහළ දාන්න සිදු වුණා. භාණ්ඩ 1500ක් ආනයනය තහනම් කළා. විදුලිය, තෙල් සියල්ලෙම මිල ඉහළ දැම්ම, බදු ඉහළ දැම්ම. මේ දේවල් සිදු කරද්දි ජන ජීවිතයට සුවිශේෂී බලපෑම් සිද්ධ වෙනවා. පහළ මට්ටමට වගේ ම මධ්‍යම පන්තියටත් ඒ බලපෑම එනවා. අපි 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කරන්න ගියා ම ලොකුම ගැටලුව මතු වුණේ රාජ්‍ය ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කියන කාරණාවේ දී. ජනාධිපතිතුමාට මේ ගැන ඍජුව කතා කරන්න පුළුවන් මොකද අවුරුදු විස්සකට පෙරත් එතුමා මේ ගැන ඍජුව කතා කරපු නිසා. එදා අපි හිටියෙ ඊට විරුද්ධ පැත්තෙ. ඒ වගේ ම අපේ මතය එවට ඉතා ජනප්‍රිය වුණා. අදටත් මේක ජනප්‍රිය විදියට කතා කරන්න පුළුවන්. නමුත් රටේ අවශ්‍යතාව මෙතන දී අපි සලකා බලන්න ඕනෙ. ජනාධිපතිතුමා පැහැදිලිව කිවුව අපි 18 වැනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යන්න අවශ්‍ය නෑ කියල. ඒ සඳහා අපි සියලු දෙනාම එක වගේ කැපවීමක් සිදු කළ යුතු යැයි” අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු සහ උපකුලපතිවරු ඇතුළු විද්වත්හු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
.

Leave a comment

Your email address will not be published. Required fields are marked *