කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (Colombo Suburban Railway Project) යටතේ ලබන වසර මුලදී විදුලි දුම්රිය ධාවනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹිණි. ඒ අනුව කැලණිවැලි මාර්ගයේ මරදාන සිට මාකුඹුර දක්වාත්, ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව සිට රාගම දක්වාත්, මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව සිට පාණදුර දක්වාත් පළමු අදියර ක්‍රියාත්මක වේ.
වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව මෙම විද්‍යුත් දුම්රිය සේවා ක්‍රියාත්මක වන අතර, දැනට පවතින දුම්රිය මාර්ගයන්හි පුළුල් පළල (Broad Gauge) වෙනුවට සම්මත පළල (Standard Gauge) යොදාගනිමින් මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට ද නියමිතය. මෙම සාකච්ඡාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.














