ශ්‍රී ලංකාවේ දුම්රිය ප්‍රවාහන පද්ධතිය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කරමින් කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ලබන වසරේ මුල් භාගයේදී ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල පවතින දැඩි මාර්ග තදබදයට පිළියමක් ලෙස සහ මගීන්ට පහසු වේගවත් ප්‍රවාහන සේවාවක් ලබාදීම මෙහි මූලික අරමුණයි. මෙම ව්‍යාපෘතියේ සැලසුම් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. එහිදී වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව විද්‍යුත් දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම සහ දැනට පවතින පුළුල් පීලි වෙනුවට ජාත්‍යන්තර මට්ටමේ සම්මත පීලි යොදාගනිමින් මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම සාකච්ඡා විය.
ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ප්‍රධාන මාර්ග තුනක් විදුලි දුම්රිය මාර්ග ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර ඒ යටතේ කැලණිවැලි මාර්ගයේ මරදාන සිට මාකුඹුර දක්වා ද ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව සිට රාගම දක්වා ද මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව සිට පානදුර දක්වා ද නවීකරණ කටයුතු සිදු කිරීමට නියමිතය. මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සහ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි තාක්ෂණික අභියෝග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳව ද පුළුල් ලෙස කරුණු විමසා බැලුණි.
මෙම සාකච්ඡාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය විමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් නිල්ජනක බණ්ඩාර සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. රජයේ අපේක්ෂාව වන්නේ ලබන වසර මුලදී මෙම කටයුතු කඩිනමින් ආරම්භ කර මෙරට පොදු ප්‍රවාහන සේවය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉහළ නැංවීමයි.














