චීනයේ සන්‍යා නුවර පැවති 06 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වී විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කරගත් ශ්‍රී ලංකා වෙරළ කබඩි කණ්ඩායම් ඊයේ (29) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියහ. ආසියානු කලාපයේ රටවල් රැසකගේ සහභාගීත්වයෙන් පසුගිය 18 වනදා සිට 29 වනදා දක්වා පැවති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගනිමින් මෙරටට අභිමානයක් ගෙන ඒමට සමත් විය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි මෙම ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම ත්‍රිවිධ හමුදා ක්‍රීඩා අංශ නියෝජනය කරන නිලධාරීන් ද එක්ව සිටියහ. මීට අමතරව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේ මහත් උද්යෝගයකින් යුතුවයි.
ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියකදී මෙවැනි දස්කම් දැක්වීමට හැකිවීම ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩාවේ ඉදිරි ගමනට මහත් ශක්තියක් වන අතර මෙම ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැපවීමෙන් කටයුතු කළ බව ද මෙහිදී සඳහන් විය. ආසියානු වෙරළ ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය සනිටුහන් කළ මෙම කණ්ඩායම් දෙකටම ක්‍රීඩා බලධාරීන්ගේ සහ ජනතාවගේ උණුසුම් සුබපැතුම් හිමිව තිබේ.














