විභාග අක්‍රමිකතා හේතුවෙන් තමන්ට සිදුවූ කාලය හා ධන නාස්තියට රුපියල් ලක්ෂ 50ක වන්දියක් අය කරදෙන ලෙස ඉල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවෙකු පවරා ඇති නඩුවකට අදාළව, එහි වගඋත්තරකරුවන් වන උපකුලපතිවරයා, හිටපු උපකුලපතිවරයා, කථිකාචාර්යවරුන් සහ නිලධාරීන් ඇතුළු හත්දෙනෙකුට ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නුගේගොඩ දිසා විනිසුරු ආර්.ඒ.එන්. රාජපක්ෂ මහතා නොතිසි නිකුත් කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සනත් කුමාර අතුකෝරළ මහතා විසින් මෙම නඩුව පවරා ඇත. විභාගයෙන් අසමත් කළ සිසුන් පිරිසක් යළි විභාගයක් නොපවත්වා පසු අවස්ථාවක සමත් කළේ කෙසේද යන්න පිළිබඳව සහ ඇතැම් විභාග හා ලකුණු ලබාදීමේ ක්‍රියාවලීන්හි සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් සාධාරණ හේතු දැක්වීමට අපොහොසත් වීම මත මෙම නඩුව ගොනු කර තිබේ. ඒ අනුව, වගඋත්තරකරුවන් ලියාපදිංචි තැපෑලෙන් සහ අධිකරණ පිස්කල්වරයා මාර්ගයෙන් කැඳවා ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටිමින් උත්තර ඉදිරිපත් කරන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කර ඇත.
















