ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මෑතකදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දැමීමත් සමඟ, වාණිජ බැංකු විසින් තම ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකරනු ලබන පොලී අනුපාතිකයන් ද ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.
මෙම තීරණයට අනුව, දැනට ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කෙරෙන 26%ක වාර්ෂික පොලී අනුපාතිකය, එළඹෙන ජූලි මස 01 වැනි දින සිට 28% දක්වා ඉහළ දැමීමට නියමිත බව ඇතැම් බැංකු විසින් දැනටමත් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී තිබේ.
ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය පිළිබඳ මහ බැංකු දත්ත:
මහ බැංකුවේ නවතම වාර්තාවන්ට අනුව, මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබේ:
2025 වසර අවසානය වන විට සක්‍රීය කාඩ්පත් ප්‍රමාණය 2,166,186 ක් වූ අතර, එම කාලය වන විට නොපියවූ ශේෂය රුපියල් මිලියන 189,706 ක් විය. 2026 වසරේ පළමු කාර්තුව අවසන් වන විට සක්‍රීය කාඩ්පත් ප්‍රමාණය 2,215,853 දක්වා ඉහළ ගොස් ඇති අතර, නොපියවූ ශේෂය රුපියල් මිලියන 194,105 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම දත්තයන්ට අනුව, 2026 වසරේ පළමු කාර්තුව අවසන් වන විට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සහ ඒ ආශ්‍රිත ණය ශේෂය යන දෙකම ඉහළ ගොස් ඇති බව පෙනේ. පොලී අනුපාත ඉහළ යාම ක්‍රෙඩිට් කාඩ්පත් පරිශීලකයින්ගේ මාසික වාරික සහ ගෙවීම් පීඩනය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරනු ඇත.
















