කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ ඉබෝලා වෛරසය ආසාදනය වූ බවට තහවුරු කර ඇති පුද්ගලයන් සංඛ්යාව 10,000 ඉක්මවා ගොස් තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, එරට මහජන සෞඛ්ය ආයතනයේ දත්තවලට අනුව ආසාදිතයන් සංඛ්යාව 10,060ක් වන අතර, මරණ සංඛ්යාව 4,887කි.
මෙම ව්යාප්තියට හේතු වී ඇත්තේ දුර්ලභ බුන්ඩිබුග්යෝ (Bundibugyo) ඉබෝලා වෛරස් ප්රභේදය බව සඳහන් වේ. මැයි මස මැද භාගයේදී ප්රකාශයට පත් කළ මෙම ව්යාප්තිය, කොංගෝවේ වාර්තා වූ විශාලතම ඉබෝලා ව්යාප්තීන් අතරට එක්ව තිබේ.
කොංගෝවෙන් ඔබ්බට වෙනත් අප්රිකානු රටවලටද වෛරසය පැතිර යාමේ අවදානම පිළිබඳව සෞඛ්ය බලධාරීන්ගේ අවධානය යොමුව ඇත. කෙන්යාවෙන්ද මෙම මාසයේදී ආසාදිතයන් වාර්තා වී ඇති අතර, කොංගෝවේ සිට උගන්ඩාව හරහා කෙන්යාවට පැමිණි පුද්ගලයෙකු නයිරෝබි නුවරදී මියයාමෙන් පසු තවත් ආසාදන හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
උගන්ඩාවෙන්ද මැයි සහ ජුනි මාසවලදී ඉබෝලා ආසාදිතයන් 20 දෙනෙකු වාර්තා වූ අතර, ඔවුන්ගෙන් බහුතරයක් කොංගෝවෙන් පැමිණි පුද්ගලයන් බව සඳහන් වේ. කෙසේ වෙතත්, අගෝස්තු මාසයේදී ලෝක සෞඛ්ය සංවිධානය උගන්ඩාවේ එම ව්යාප්තිය අවසන් වූ බව ප්රකාශයට පත් කර තිබිණි.
මේ අතර, කොංගෝවේ සංචාරය කර නැවත උගන්ඩාවට පැමිණෙන පුරවැසියන් දින 21ක නිරෝධායනයකට යොමු කරන බව එරට සෞඛ්ය අමාත්යවරයා ප්රකාශ කර ඇති බව වාර්තා වේ.
2014 සිට 2016 දක්වා බටහිර අප්රිකාවේ පැතිර ගිය ඉබෝලා වසංගතය ඉතිහාසයේ විශාලතම ව්යාප්තිය ලෙස සැලකේ. එම වසංගතයෙන් පුද්ගලයන් 28,600කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වූ අතර, 11,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
















