කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DR Congo) ජනාධිපති ෆීලික්ස් ට්ෂිසෙකෙඩිට (Felix Tshisekedi) තෙවන වරටත් ධුරයට තරග කිරීමට ඉඩ සැලසෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව නැගෙනහිර කොංගෝවේ ගෝමා (Goma) සහ බුකාවු (Bukavu) නගරවල දහස් සංඛ්‍යාත ජනතාවක් අඟහරුවාදා දැවැන්ත විරෝධතාවල නිරත වූහ.
ව්‍යවස්ථාපිත සංශෝධන ජනමත විචාරණයකට යොමු කිරීමට අවසර දෙන පනත් කෙටුම්පතක් පසුගිය ජූනි මාසයේදී කොංගෝ පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා ලදී. විරෝධතාකරුවන් “ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වනු”, “ජනමත විචාරණයකට සහ 3 වන ධුර කාලයකට ඉඩ නොදෙනු” යනුවෙන් සඳහන් බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ. මෙම විරෝධතා දැනට AFC/M23 කැරලිකාර කණ්ඩායම්වල පාලනය යටතේ පවතින ප්‍රදේශවල පැවැත්වුණු අතර, කැරලිකරුවන් විසින් බලහත්කාරයෙන් ජනතාව මෙම විරෝධතාවලට කැඳවා ඇති බවට රජයේ මාධ්‍ය ප්‍රකාශක පැට්‍රික් මුයායා චෝදනා කරයි.
එසේම, M23 නායක කෝනෙල් නන්ගා (Corneille Nangaa) සහ එම කණ්ඩායමට පනවා ඇති එක්සත් ජාතීන්ගේ සම්බාධක ඉවත් කරන ලෙසද විරෝධතාකරුවන් මෙහිදී ඉල්ලා සිටියහ. එබෝලා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන රැස්වීම් තහනම් කර තිබියදීත්, පොලිස් පරීක්ෂාවන් මැද මෙම විරෝධතා සංවිධානය කර තිබිණි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














