රතු මුහුදේ යේමන සීමාව හරහා ගමන් කරන තම තෙල් නැව්වලට ප්‍රහාර එල්ල නොකර ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ සලසන ලෙස චීනය, යේමනයේ හූති (Houthi) සන්නද්ධ සංවිධානය සමඟ සෘජු සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ. සවුදි අරාබියේ වරායන් වෙත ප්‍රවේශ වීම තහනම් කරමින් හූති සංවිධානය මෑතකදී කළ ප්‍රකාශයෙන් පසුව, චීනය මෙම හදිසි රාජ්‍යතාන්ත්‍රික පියවර ගෙන තිබේ.
හූති බලපෑම් හමුවේ රතු මුහුදේ බැබ් එල්-මන්ඩෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා චීන නෞකාවල ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා චීන බලධාරීන් එක් එක් නෞකාව වෙන වෙනම හූති සංවිධානය සමඟ සම්බන්ධ වී අවසර ලබාගන්නා බව වාර්තා වේ. පවතින උද්‍රෝධකාරී තත්ත්වය හමුවේ සවුදි අරාබියේ ‘යාන්බු’ (Yanbu) තෙල් පර්යන්තයේ සිට චීනය වෙත නොකඩවා තෙල් සැපයුම් ගෙන ඒම තහවුරු කරගැනීම චීනයේ ප්‍රධාන අරමුණයි.
කෙසේ වෙතත්, පවතින ආරක්ෂක අවදානම හේතුවෙන් නෞකා කිහිපයක් තම ගමන් මාර්ග වෙනස් කර ඇති අතර, හූති සංවිධානය මෑතකදී සවුදි තෙල් නැව් දෙකකටද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව තහවුරු කර ඇත. නෞකාවකට රතු මුහුද හරහා ආසියාවට පැමිණීමට දින 16ක් ගතවන අතර, අප්‍රිකාව වටා ගමන් කිරීමට දින 50ක් පමණ ගතවන බැවින් චීනයට මෙම නාවික මාර්ගය ආරක්ෂා කරගැනීම අතිශය තීරණාත්මක වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














