පාරිභෝගිකයා ගෙවන මුදලට නියමිත බරින් යුතු පාන් ගෙඩියක් ලැබෙනවාද යන්න තහවුරු කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මෙම මෙහෙයුම යටතේ දිවයින පුරා සිල්ලර වෙළෙඳසැල් සහ බේකරි 118ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ආයතන 54කින් බර අඩු පාන් හමු වී ඇත.
මීට අමතරව, ආයතන 76ක පාන්වල බර සහ ආයතන 65ක මිල නිසි ලෙස ප්‍රදර්ශනය කර නොමැති බව අනාවරණය වී තිබේ. මෙම වැටලීම්වල විශේෂත්වය වන්නේ සිල්ලර වෙළෙඳසැලකින් බර අඩු පාන් හමු වූ විට නතර නොවී, සැපයුම් දාමය පසුපසට විමර්ශනය කරමින් බේකරි 81ක් පරීක්ෂාවට ලක් කර මූලාශ්‍ර මට්ටමින් මෙම දෝෂ නිවැරදි කිරීමට පියවර ගැනීමය. සම්පූර්ණ පාන් ගෙඩියක් ග්‍රෑම් 450ක බරකින්ද, අර්ධ පාන් ගෙඩියක් ග්‍රෑම් 225ක බරකින්ද යුක්ත විය යුතු අතර, මෙවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටී.














