දකුණු පළාතේ කෘෂිකර්මාන්තයට නව පණක් එක් කරමින් වැලිගම සහ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දහස් සංඛ්‍යාත ගොවි ජනතාවගේ දීර්ඝකාලීන අපේක්ෂාවක් වූ ඓතිහාසික ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර අද (02) ආරම්භ කර තිබේ.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිතාල මානවඩු, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලියාස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එච්. එම්. අබේවික්‍රම යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වීමට නියමිතය. දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 594.3ක පිරිවැයක් ඇස්තමේන්තු කර ඇත.මාස 20ක් ඇතුළත ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 57,000කට අධික ජනතාවට සහ 8,000කට අධික ගොවි ජනතාවට ඍජු හා වක්‍ර ප්රතිලාභ හිමි වනවා. 1952 වර්ෂයේදී ඉදිකරන ලද ඉල්වත්ත අමුණ මඟින් වැලිගම සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් රැසක කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සැපයෙන අතර, ඒ යටතේ අක්කර 3,000කට අධික කුඹුරු ඉඩම් සහ අක්කර 62ක කොරටු ඉඩම් වගා කරන ගොවි පවුල් 2,000කට ආසන්න පිරිසක් ප්රතිලාභ ලබනු ඇත.














