බෞද්ධ සාහිත්‍යයේ එන චේතිය රජු පරදන අන්දමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මධුජිත් අගෝස්තු 05 වන දින පැවැති කෝප් කමිටු රැස්වීමේදී අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බව රට හමුවේ හෙළිදරව් වී තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්යක්ෂ ලෙස පත්කර සිටින එච්.එම්.එච්.ඒ. කපිලරත්න නමැත්තා, එක් ඇසක පවතින ස්ථීර ආබාධිත තත්ත්වයක් හේතුවෙන් යුධ හමුදා වෛද්‍ය මණ්ඩලයක් මගින් සේවයට නුසුදුසු බව තීරණය කර විශ්‍රාම ගන්වා ඇති බැවින්, එම නුසුදුසුකම මත ඔහුව නැවත රාජ්‍ය සේවයට බඳවා ගැනීමට හැකියාවක් නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. එහිදී වහාම ඉදිරිපත් වූ උපකුලපති මධුජිත් කියා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මණ්ඩලයක් මගින් අදාළ පුද්ගලයා සේවයට සුදුසු බව නිර්දේශ කර ඇති බවයි.
කෙසේ වෙතත්, එම වෛද්‍ය මණ්ඩලයට ඇතුළත් වෛද්‍යවරුන් කවුරුන්දැයි කෝප් කමිටුව විමසා සිටි අවස්ථාවේදී, විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඇතුළු පිරිසක් එකී කටයුත්ත කළ බව පැවසුවද ඔවුන්ගේ නම් සඳහන් කිරීමට උපකුලපතිවරයා අපොහොසත් විය.
එම අවස්ථාවේදී ලේඛන ඉදිරිපත් කරමින් කරුණු තහවුරු කළ කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ, අදාළ බඳවා ගැනීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ නිවේදනය කිරීමටත් සතියකට පෙර, විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය විසින් අදාළ පුද්ගලයාගේ පෙනීම පරික්ෂා කරන ලෙස වෙනත් වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමක් පමණක් සිදුකර ඇති බවයි. මෙයින් පැහැදිලි වන්නේ මෙම බඳවා ගැනීම නිවේදනය කිරීමටත් පෙර සිටම අදාළ පුද්ගලයා ඊට නුසුදුසු බව දැන දැනම, වංචා සහගත ලෙස ඔහුව සුදුසු බව පෙන්වීමට උපකුලපතිවරයා ප්රමුඛ නිලධාරීන් සැලසුම් සහගතව කටයුතු කර ඇති බවයි.
තමන් හොබවන ගෞරවනීය තනතුරට නොගැලපෙන අයුරින් ලාමක ප්‍රකාශ ඉදිරිපත් කරමින් මෙම නීති විරෝධී බඳවා ගැනීම සාධාරණීකරණය කිරීමට උපකුලපතිවරයා දැරූ උත්සාහය අසාර්ථක වී ඇති අතර, ඔහුගේ මෙම වගකීම් විරහිත ක්‍රියාකලාපය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරේ ගෞරවයට දැඩි කැළලක් බව විද්වත්හු පෙන්වා දෙති.













