නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය සරසවි මිතුරන්ට අලෙවි කිරීමේ වරදට වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට රුපියල් 410,000ක දඩයක් නියම කර තිබේ.
කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා හමුවේ අදාළ චෝදනාවලට සැකකාර සිසුවා වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඬුවම නියම කර ඇත.
බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සිසුවා සන්තකයේ හෂීස් ග්‍රෑම් 254ක් සහ විදේශීය දුම්වැටි 500ක් තිබී සොයාගෙන ඇති අතර, දුම්කොළ බදු ආඥාපනත උල්ලංඝනය කිරීම යටතේ පොලිසිය විසින් ඔහුට එරෙහිව නඩු පවරන ලදී. විශ්වවිද්‍යාල නේවාසිකාගාර පරීක්ෂාවට ලක් කළ මාෂල්වරයෙකු විසින් මෙම ජාවාරම අනාවරණය කර ගැනීමෙන් පසු පොලිස් විමර්ශන ක්‍රියාත්මක වී ඇත.













