මෑතකාලීන ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම සාර්ව ආර්ථික අභියෝගයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදී ශ්‍රී ලංකාව නව ආර්ථික ස්ථාවරත්වයක් සහ පැහැදිලි වර්ධන දැක්මක් සහිතව පෙරට පැමිණ තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ වර්තමානය වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ව්‍යාපාර, ද්විපාර්ශ්වික වෙළඳාම සහ සෘජු විදේශ ආයෝජන (FDI) සඳහා සම්පූර්ණයෙන්ම විවෘතව පවතින බවයි. පසුගිය මැයි 8 වන දින සාර්ථකව පැවැත්වුණු “ශ්‍රී ලංකා–වියට්නාම වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය” අමතමින් ඒ මහතා අවධාරණය කළේ, වියට්නාමය ඇතුළු අග්නිදිග ආසියානු (ASEAN) කලාපීය ව්‍යාපාරිකයන් සඳහා ශ්‍රී ලංකාව මේ වන විට දකුණු ආසියාව තුළ පවතින ආරක්ෂිතම සහ විශ්වාසවන්තම ආයෝජන ගමනාන්තය බවයි.
2023 වසරේ පැවති 2.3% ක පසුබෑමෙන් මිදී ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ස්ථායීතාවය සහ පිබිදීම නිල සංඛ්‍යාලේඛන මඟින් මනාව තහවුරු වන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල පුරෝකථනයන්ට අනුව 2024 සහ 2025 වසරවලදී 5.0% ක කැපී පෙනෙන දදේනි (GDP) වර්ධනයක් අත්කරගෙන ඇති ශ්‍රී ලංකාව, 2026 වසරේදී ද 4.0% ක අඛණ්ඩ ස්ථාවර වර්ධනයක් අපේක්ෂා කරයි. මේ අතර රට තුළට ගලා එන සෘජු විදේශ ආයෝජන ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර 2024 දී පැවති ඇමරිකානු ඩොලර් මිලියන 614 ක FDI අගය, 2025 වන විට ඩොලර් බිලියන 1.063 දක්වා දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. එමෙන්ම වත්මන් 2026 වර්ෂය සඳහා රජය අපේක්ෂා කරන සෘජු විදේශ ආයෝජන ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 කි.
වත්මන් ද්විපාර්ශ්වික වෙළඳ දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව වියට්නාමයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 238 ක භාණ්ඩ ආනයනය කරන අතර, වියට්නාමයට අපනයනය කරනු ලබන්නේ ඩොලර් මිලියන 40 ක භාණ්ඩ පමණි. ශ්‍රී ලංකාව වියට්නාමයට වඩා 6 ගුණයකට ආසන්න ප්‍රමාණයක් එරටින් ආනයනය කරන බැවින්, පවතින වෙළඳ හිඟය අවම කර ගනිමින් ද්විපාර්ශ්වික වෙළඳ තුලනයක් ඇති කරගැනීම සඳහා ආයෝජකයින්ට පුළුල් අවකාශයක් පවතී. විශේෂයෙන්ම මෙරට උසස් තත්ත්වයේ පවතින තේ, රබර් නිෂ්පාදන, ඇඟලුම් සහ මුහුදු ආහාර වියට්නාම වෙළඳපොළට සෘජුවම අපනයනය කිරීමේ අවස්ථා උදා වී ඇති අතර ගෝලීය සැපයුම් දාමයන් තනි වෙළඳපොළකින් බැහැරව සමස්ත ආසියාව තුළ විවිධාංගීකරණය වීමේ වත්මන් ප්‍රවණතාවෙන් දෙරටටම උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබාගත හැක..














