ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව විසින් රාජ්‍ය ආයතනවල පරිපාලනමය හා මූල්‍යමය ක්‍රියාවලීන් සමාලෝචනය කිරීමේ වැඩසටහනට අදාළව, එළඹෙන 22 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලය කමිටුව වෙත කැඳවීමට නියමිතය.
මෙම කැඳවීමේදී රජයේ විගණකාධිපතිවරයා විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විශේෂ විගණන වාර්තාවකට අනුව, උපකුලපතිවරයා ඇතුළු නිලධාරීන්ගෙන් කරුණු විමසීමට නියමිතව ඇත. පසුගිය කාලසීමාව තුළ විශ්වවිද්‍යාලය තුළ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය වංචා, නීතියට පටහැනි බඳවාගැනීම්, අක්‍රමිකතා සහ දූෂණ හේතුවෙන් කෝප් කමිටු ප්‍රශ්න කිරීම් තියුණු මුහුණුවරක් ගනු ඇති බව විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එම ප්‍රශ්න කිරීම් සඳහා පිළිතුරු සකස් කිරීම උදෙසා විශ්වවිද්‍යාල බලධාරීන් මේ වන විට විශාල වෙහෙසක් ගනිමින් සිටින බව වාර්තා වේ. ඒ යටතේ පරිපාලන නිලධාරීන්ගේ රැස්වීම් ගණනාවක් කැඳවා ඇති අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමගද සාකච්ඡා පවත්වා තිබේ. ඒ අනුව, අද (16) පෙරවරු 10.00ට විශේෂ පාලක සභා රැස්වීමක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර ඇත.
කෝප් කමිටුවේ මෙම කැඳවීම හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් අර්බුදකාරී තත්ත්වයකට මුහුණදී සිටින බව වාර්තා වේ. 2023 වසරේදී අවසන් වරට කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදී, මිලියන ගණනක නිෂ්කාර්ය වියදම් අදාළ තීරණ ගත් පාර්ශ්වයන්ගෙන් අයකර ගත යුතු බවට නිර්දේශ කර තිබුණි. එහෙත් එම නිර්දේශ ඇතුළු කෝප් කමිටු නිර්දේශ ගණනාවක් මේ දක්වා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් උපකුලපතිවරයා මේ වන විට බරපතල අභියෝගයකට මුහුණ දී සිටින බව විශ්වාසදායක ලෙස දැනගන්නට ලැබේ.














