ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සබරගමු විශ්වවිද්‍යාලය ඇතුළු ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන අටක සිදුව ඇති දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 23ක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කර ඇති බව කෝප් (COPE) කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය වීම මඟින් කෝප් කමිටුවට ලැබී ඇති නව බලතල යටතේ මෙම ලිපිගොනු අල්ලස් කොමිෂන් සභාවට බාර දී ඇති අතර, එම ආයතන සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇත. මීට අමතරව, ආයතනික සැලසුම් ඉදිරිපත් කරන ලෙසට ලබාදුන් නියෝග නොසලකා හැර ඇති ආයතන කිහිපයක් පිළිබඳවද කමිටුවේ විශේෂ අවධානය යොමුව ඇති අතර, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා තවත් රාජ්‍ය ආයතන කිහිපයක් ලබන සතියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතය.














