ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක විදේශ ණය වාරිකයක් වැරදි පාර්ශවයක අතට පත්වීමේ බරපතල සිදුවීමක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු නිලධාරීන් කඩිනමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) හමුවට කැඳවන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා විශේෂ රැස්වීමක් සංවිධානය කරන ලෙස කාරක සභාවේ සාමාජිකයින්ට දැනටමත් උපදෙස් දී ඇති බව හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජයේ මුදල් පාලනය කිරීමේ පරම වගකීම පාර්ලිමේන්තුව සතු වන අතර, මෙවැනි මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය බැඳී සිටින බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. මෙය හුදෙක් පරිපාලනමය ගැටලුවක් පමණක් නොවන බවත්, මහජන මුදල්වල ආරක්ෂාව තහවුරු කිරීම පාර්ලිමේන්තුව සතු වගකීමක් බවත් ඔහු පෙන්වා දෙයි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී මෙම විමර්ශනය ආරම්භ කිරීමට නියමිතව තිබේ.
අදාළ ණය වාරිකය නියමිත පාර්ශවය වෙත ගෙවීමට ගත් ක්‍රියාමාර්ග සහ එය වෙනත් පාර්ශවයකට මාරු වීමට බලපෑ හේතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසීමට නියමිතය. රජයේ මූල්‍ය පද්ධතියේ පවතින දුර්වලතා හෝ යම් කිසි වංචාකාරී ක්‍රියාවක් මීට බලපා ඇත්ද යන්න අනාවරණය කර ගැනීම කාරක සභාවේ මූලික අරමුණ වී තිබේ. මෙම සිදුවීම ජාත්‍යන්තර මූල්‍ය සබඳතා කෙරෙහි ද බලපෑම් එල්ල කළ හැකි බැවින් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇත.














