කෙන්යාවේ මන්දේරා (Mandera) ගුවන් තොටුපළේදී පසුගිය 24 වන දින උදෑසන මගී ගුවන් යානයක් ගොඩබස්වන අවස්ථාවේදී ධාවන පථයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ. නයිරෝබි නුවර සිට පැමිණි ‘EBB Air’ ගුවන් සමාගමට අයත් මෙම යානය ධාවන පථයෙන් ඉවතට පැන අසල තිබූ පඳුරු සහිත ප්‍රදේශයකට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවන අවස්ථාවේදී යානය තුළ මගීන් 32ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් 36 දෙනෙකු ගමන් කර ඇතත්, වාසනාවකට මෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති බව කෙන්යානු ගුවන් තොටුපළ බලධාරීන් (KAA) තහවුරු කර තිබේ.
අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ සහන සේවා කණ්ඩායම් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත. යානයේ බාහිර කොටස්වලට සැලකිය යුතු හානි සිදුව ඇති බව ඡායාරූප සහ වීඩියෝ දර්ශන මඟින් දක්නට ලැබෙන අතර, මෙම අනතුරට හේතුව අහිතකර කාලගුණික තත්ත්වය ද නැතහොත් කිසියම් කාර්මික දෝෂයක් ද යන්න පිළිබඳව එරට ගුවන් සේවා බලධාරීන් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ. මෙම සිදුවීම හේතුවෙන් මන්දේරා ගුවන් තොටුපළේ කටයුතුවලට ද තාවකාලිකව බාධා එල්ල වූ බව වාර්තා වේ.














