27 April 2024
#දේශීය

මන්ත්‍රී ඩිලාන්ට සභාපති තනතුරක්

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ (21) තේරී පත් වු බව පාර්ලිමේන්තු සන්නිවේදය අංශය නිවේදනය කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මායාදුන්න චින්තක අමල් සහ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ඩිලාන් පෙරේරා මහතා මෙලෙස තෝරා පත්කර ගැනිණි.

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමන්ගේ නම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් යෝජනා කිරීමත්, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ඊට විරුද්ධ නොවී එය ස්ථිර කිරීමත් පිළිබඳව තමා සතුටු වන බවත් අභිනව සභාපතිවරයා කාරක සභාව අමතමින් ප්‍රකාශ කළේය.

තවද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලය, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වැනි ආයතන කාරක සභාව හමුවට කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු. එම් ඒ සුමන්තිරන්, ඒ එල් එම් අතාවුල්ලා, ගරු මායාදුන්න චින්තක අමල්, ගරු ගෙවිඳු කුමාරතුංග, ගරු කුලසිංහම් තිලීපන්, ගරු රාජිකා වික්‍රමසිංහ සහ ගරු. ඉසුරු දොඩංගොඩ යන මහත්මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *