පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විශේෂඥ මානසික වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීමට අදාළ නියෝගය ලබන ජුනි 10 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (ජුනි 04) නිවේදනය කළේය.සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, මීට පෙර අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව සැකකරු වෛද්‍ය පරීක්ෂණවලට ලක්කළ ද, එම වෛද්‍යවරුන් නිර්දේශ කළ ආහාර ලැයිස්තුව සහ දිනකට විනාඩි 30ක් එළිමහනට යැවීම වැනි කරුණු ක්‍රියාත්මක වී නොමැති බවයි. සුරේෂ් සලේ මහතා මානසික වෛද්‍ය පරීක්ෂණයේදී තමා රඳවා සිටින ස්ථානයේ පවතින දුෂ්කරතා සහ තමාට සිදුවූ බව කියන නින්දාසහගත සැලකීම් පිළිබඳව කරුණු දක්වා තිබේ. ඔහු දැඩි මානසික පීඩනයට සහ කාංසාවට ගොදුරු වී සිටින බවත්, දිවි නසාගැනීමේ ප්‍රවණතාවයක් ඇති බවත් වෛද්‍ය වාර්තාවල සඳහන් බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම මෝසම දැඩිව ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කළේ, සැකකරුට වධ හිංසා සිදුවූවා නම් ඔහු මීට පෙර නීතිඥවරුන් හෝ පවුලේ අය හමුවූ අවස්ථාවල ඒ බව ප්‍රකාශ නොකළේ මන්දැයි ප්‍රශ්න කරන බවයි. එමෙන්ම මෙම වෛද්‍ය වාර්තාව “නිර්මාණය කරන ලද්දක්” බවත්, සැකකරු හොඳ රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළේය. සියලු පාර්ශ්වවල කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව ජුනි 10 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
















