ඉන්දියාවට විස්සයි20 ලෝක කුසලානය දිනා දීමට නායකත්වය ලබා දුන් සූර්යකුමාර් යාදව්, ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව පෙන්වූ දුර්වල දක්ෂතා හේතුවෙන් ඔහුව නායකත්වයෙන් ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ. ඔහු වෙනුවට ඉන්දියාවේ මීළඟ නිත්‍ය විස්සයි20 නායකයා ලෙස ශ්‍රෙයාස් අයියර් පත් කිරීමට නියමිත බව සඳහන් වේ.
විස්සයි20 ලෝක කුසලානයෙන් පසු ඉන්දියාව අයර්ලන්තය සහ එංගලන්තය සමඟ තරග වැදීමට නියමිත යුරෝපා සංචාරයක් සඳහා එක්වීමට නියමිතය. එම සංචාරය සඳහා වන ඉන්දීය විස්සයි20 සංචිතය එළැඹෙන සෙනසුරාදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, 35 හැවිරිදි සූර්යකුමාර් යාදව් එම සංචිතයෙන්ද ඉවත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අනාගත සූදානමක් ලෙස, නිමාවූ IPL තරගාවලියේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ 15 හැවිරිදි වෛභව් සූර්යවංශිව සංචිතයට කැඳවීමට නියමිත බව වාර්තා වේ. සූර්යවංශි ඉන්දීය සංචිතයට තේරී පත් වුවහොත්, සචින් තෙන්ඩුල්කාර්ගෙන් පසු ඉන්දීය පිරිමි සංචිතයකට තේරී පත් වූ ලාබාලතම ක්‍රීඩකයා බවට ඔහු පත්වනු ඇත.
















