බන්ධනාගාරගත කාන්තාවන්ට සිදුවන හිංසා පීඩා, පහරදීම් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ ගැටලු පිළිබඳව සොයා බැලීමට මැදිහත් වන ලෙස ‘නිදහසේ කාන්තාවෝ’ සංවිධානය විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී සාරෝජා පෝල්රාජ් මහත්මියගෙන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ. සංවිධානයේ කැඳවුම්කරු සුවන්ති වීරසේකර මහත්මිය පෙන්වා දෙන්නේ මීගමුව බන්ධනාගාරයේදී ප්‍රතිකාර ඉල්ලා විරෝධතාවයේ නිරත වූ කාන්තා රැඳවියන් බහුතරයක් මේ වන විට පල්ලේකැලේ බන්ධනාගාරය වෙත මාරු කර ඇති බවයි. මෙම රැඳවියන් හමුවීමට ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට හෝ නීතිඥවරුන්ට අවස්ථාවක් නොලැබීම ඔවුන්ගේ මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් බවත්, මෙය කාන්තා සිරකරුවන් සහ දරුවන් ආරක්ෂා කිරීම සඳහා පැනවූ ජාත්‍යන්තර ‘බැංකොක් රීති’ උල්ලංඝනය කිරීමක් බවත් සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි. පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරියන්ගෙන් මෙම සංවිධානය ඉල්ලා සිටින්නේ, කාන්තා රැඳවියන් සහ ඔවුන්ගේ දරුවන් රඳවා සිටින බන්ධනාගාර වෙත ගොස් ඔවුන් මුහුණ දෙන හිංසන සහ පීඩා නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මැදිහත් වන ලෙසත්ය.














