හිඟ වැට් බදු මුදල් ගෙවීම සඳහා සහනයක් ලබාදෙන ලෙස ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, අදාළ හිඟ බදු මුදල් නියමිත පරිදි ගෙවා අවසන් කරන ලෙස එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ට අද (අප්‍රේල් 24) නියෝග කළේය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
2016-2017 වර්ෂවලට අදාළව රුපියල් මිලියන 996ක බදු මුදලක් පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී, විත්තිකාර අධ්‍යක්ෂවරයකු වන අර්ජුන් ඇලෝසියස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා ඇති බවයි. එමෙන්ම මත්පැන් නිෂ්පාදනාගාර වෙන්දේසි කිරීමට බැංකු සූදානමින් සිටින බැවින් දැඩි මූල්‍ය දුෂ්කරතා පවතින බවත්, එබැවින් දැනට නියම කර ඇති බදු වාරික සංශෝධනය කර සහනයක් ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙන්වා දුන්නේ බදු පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නඩු පහක් ගොනු කර ඇති බවයි. මීට පෙර එක් නඩුවකදී බදු නොගෙවීම නිසා අධ්‍යක්ෂවරුන්ට සිර දඬුවම් පවා නියම වූ බව සඳහන් කළ ඔහු, කිසිදු සහනයක් ලබා නොදී නියමිත පරිදි බදු අය කර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, බදු ගෙවිය යුතු කාලය දැනටමත් ඉක්මවා ගොස් ඇති බැවින් කිසිදු සංශෝධනයකින් තොරව නියමිත පරිදි බදු මුදල් ගෙවන ලෙස නියෝග කළේය. මෙම ගෙවීම්වල ප්‍රගතිය වාර්තා කරන ලෙස නියම කළ අධිකරණය, නඩුව මැයි මස 25 වන දින නැවත කැඳවීමට තීරණය කළේය.














